Pages

Sunday, February 9, 2020

රස ගුණ පිරි එළකිරි

අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම දන්න එළකිරි ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේවල් ටිකක්.

එළකිරි සොයාගැනීමට තිබෙන පහසුව නිසාම ජනයා අතර එළකිරි විතය සුලබව දක්නට පුළුවන්.

උපතේ සිට මියෙන මොහොත දක්වාම භාවිකයට ගතහැකි එළකිරි මෘදු ගුණයෙන් යුකත අතර තවත් බොහෝ ගුණ වලින් යුක්තයි.

ගුරු ගුණයෙන් යුතු එළකිරි මිහිරි රසයෙනුත් වැගිරෙන ස්වභාවයෙනුත් සීත ගුණයත් ඇති නිසා සියලු ප්‍රාණීන්ට ගුණදායකයි. ඒවගේම යොවුන් බව ආරක්ෂාවීමටත්, ආයුෂ වැඩීමටත් උපකාරී වෙනවා.  

අස්ථි ශක්තිමත් කිරීමට, ශරීර ශක්තිය, තේජස වර්ධනය කිරීමට,  මව් කිරි හා ශුක්‍ර ධාතු වර්ධනයට , ශරීරයේ වෙහෙස නිවීමටද මේ එළකිරි බොහෝ උපකාරී වෙනවා.

මානසික රෝග වලින් පෙලෙන අයට, අර්ශස් රෝ්ගීන්ටත් හිතකරයි. ඒ වගේම දෙනෙතටත් හිතකර එළකිරි ආයුර්වේද පංචකර්ම චිකිත්සාවේදීද බහුලව යොදාගන්නා ඖෂධයක්.

එළකිරි රත් නොකර පානයෙන් සෙම් ගතියක් ඇතිවන්නේ එහි ගුරු ගුණය ඇති බැවිනි. එළකිරි රත්කර ගැනිමේදි එකවර අධික උෂ්ණත්වයක් යටතේ රත්කර ගතයුතු අතර, එයට එනසාල්, අමු ඉගුරු, වියළි ඉගුරු, කලාඳුරු අල ආදිය එක් කිරීමෙන් සෙම් තත්වය පාලනය කරගන්න පුළුවන්.

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදි ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙසද එළකිරි භාවිතයට ගන්නවා.

ඉතින්  ඔබත් එළකිරි පානයකර ඔබේ නිරෝගීකම පවත්වා ගන්න.එබ ඔබේ ගතටත් පසුම්බියටත් බොහෝ හිතකර වනු ඇතැයි මා විශ්වාස කරනවා. 

ඔබේ අදහස් යෝජනා comment  කරන්න.

Tuesday, July 30, 2019

ආකාලයේ කොන්ඩය සුදු වෙලාද? මෙන්න විසඳුම



වර්තමානයේ බොහො දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි අකාලයේ හිසකෙස් සුදු වීම.  මෙම තත්වය ⁣නිසා ඔබ බොහෝම අපහසුතාවයට පත්වනවා ඇති. මේ සඳහා විවිධ ඖෂධ හා ප්‍රතිකාර සෙව්වා නේද නමුත් කිසිම සතුටුදායක ප්‍රතිඵලක් නැතිද.

ඉතින් ඔබ දැනගත යුතුම දෙයක් තමයි මේ රෝග තත්ත්වයේ දී ඖෂධවලින් පමණක් මෙය සුව කල නොහැකි බව. මෙය බොහෝ දෙනෙක් නොදන්නවා වියහැකියි.

කොච්චර බේත් කලත් වැඩක් නැහැ කියමින් බෙහෙතටයි, වෛද්‍යවරයටයි දොස් කිව්වට වැඩක් නැහැ.

අපි ඖෂධ ප්‍රතිකාර කරන ගමන්ම අපේ සමහර වැරදි පුරුදුත් අනිවාර්යෙන්ම අත්හැරිය යුතුමයි.

ඔබෙත් කෙස් සුදු වෙලානම් ඔබ කුමක් කල යුතුද යන්න දැන් බලමු.
මේ කෙස් සුදුවීමට හේතු කාරණා කිහිපයක් බලපානවා.

ඒ අතරින් පීනස තත්ත්වය ගැන නම් බොහෝ දෙනෙක් දන්නනවා. නමුත් අපේ හිස කෙස් වලට ලැබෙන පෝෂණය අඩු⁣ වෙනවා අපේ රක්ත ධාතුව දූෂණය වූ විට මෙවිට එම පෝෂණ ඌණතාවය නිසා කෙස් සුදු වීමද සිදුවෙනවා.

මේ සඳහා අපි නිසි වෛද්‍ය ප්‍රතිකාර සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ලබාගත යුතුයි. ඒ සඳහා ඔබට රජයේ ආයුර්වේද රෝහලක් වෙත යොමුවිය හැකියි.

මෙහිදී අපි කරන වැරදි පුරුදු කිහිපයක් වලකවා ගැනීම නම් කල යුතුමයි.
ඒ රාත්‍රියට ස්නානය අනිවාර්යෙන්ම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි.
දහවල් හා උදය කාලයේ හැකි තරම් ස්නානය කිරීමට වගබලා ගතයුතුමයි.
සමහර කෘතීම ෂැම්පු සහ සබන් වර්ගත් මේ සදහා බලපාන බව අත්දැකීම් සහිත වෛද්‍යවරු පවසනවා.
මන්ද මේ තත්ත්වය සමග ඔබට හිස්හොරි තත්ත්වය ද ඇතිවීම සාමාන්‍යය නිසා.
එමනිසා සබන් ,ෂැම්පු හිසගැල්වීමෙන් වැලකීමත් අවශ්‍ය නම් බේබි සබන් වැනි සැර අඩු සබන් වර්ගයක් භාවිතයත් යහපත්.

ඒ වගේම තමයි අමු අඹ,අන්නාසි ,තක්කාලි ,අච්චාරු ,බල මාලු, ඉස්සො,දැල්ලො, කෙලවල්ලා ආදි උෂ්ණාධික ආහාර ගැනිමෙන් වැලකීමත්
කෙසෙල්,ගස්ලබු,අලිගැටපේර වැනි ඇඹුල් බහුල නොවූ පලතුරක් ආහාරයට එක්කර ගැනීමත් ඉතාම හොදයි.

එසේම වෙනිවැල්ගැට -කොත්තමල්ලි තැම්බූ වතුර පානයත් ඉතාම ගුණවත් .

එසේම ඖෂධීය තෛලයක් හිසට දැමීමත් මේ සඳහා කලයුතුම ප්‍රතිකාරයක්. එසේම ඖෂධ පානයත්  කලයුතුමයි. ඒ සදහා ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ඔබට අනිවාර්යෙන්ම මෙම රෝගී තත්වයෙන් ඉක්මනින්ම සුවපත් වීමට නිසි ඖෂධ හා ඔබේ වැරදි පුරුදු වලින් අත්මිදීමත් අවශ්‍යයි.

Tuesday, July 9, 2019

පංච කල්‍යාණය රැකගනිමු - 05 වයඃ කල්‍යාණය



අපි කලින් මේ ලිපි මාලාවේ ලිපි 4ක් කථා කලා. අද අපි කතා කරන්න යන්නෙ මීලඟ සහ අවසාන ලිපිය වන වයඃ කල්‍යාණය ගැන.

වයස තරමට වයස නොපෙනීමට තමයි වයඃ කල්‍යාණය කියලා කියන්නෙ. කාන්තාවන්ට නම් මේ දේ ගොඩක් වටින දෙයක්.
වයස අවුරුදු 40 කෙනෙක් වයස 20-25 වගේ පේනව නම් කොච්චර හොදද නේද.

ලුණු අධික ආහාර සිරුර වියළවමින් වයසට වඩා වැඩිමහළු පෙනුමක් ලබාදීම සිදුකරනවා. එසේම අපේ අස්ථි පද්ධතියත් මෙහිදී ඉතාම වැදගත් ඒ මන්දයත් කොන්දේ කුදු බවක් ඇතිවුවහොත් එයද රුවට හානිකර නිසාය. එසේම අස්ථි දිරායාමට හා කෙස්,දත් නියපොතු ආදිය සදහා බලපාන කැල්සියම් ආහාරට නිසි පරිදි එක්කර ගත යුතුය.

එවිට අස්ථි පද්ධතිය දුර්වලවී ඇතිවන කුදු බවෙන් වැළකීමට ද ඇති හැකියාව ඉහලය. අස්ථි පද්ධතිය මුළු සිරුරම පවත්වාගනී ඒ සිරුර දරා ගැනීම,මාංශ පේෂි බැද තබාගැනීම ආදියයි. එසේම එය දුර්වල වීමෙන් , දත්, නිය, ලෝම, යන මේවාගේ කැඩෙන සුළු බවද, දිරායාමද, කෙස් යාමටද හේතුවේ.

මේ සදහා මුංඇට ,කඩල ආදී ධාන්‍ය වර්ග රැයක් පෙගෙන්නට තබා ආහාරයට එක්කර ගැනීම කෙස්, දත්, නිය , අස්ථි හා සම යන මේ සියල්ලටම ඉතාම හිතකරය.

පොතපත ඇසුරෙන් මේ ලිපි පෙල සම්පාදිතය.

පංච කල්‍යාණය රැකගනිමු -04 ඡවි කල්‍යාණය



අපි කලින් ලිපි කිහිපයකිනුත් කතාකලා පංච කල්‍යාණයේ ,  කොටස් 03 ක් ගැන. අද අපි ඡවි කල්‍යාණය ගැන කතාකරමු.

ඡවි කල්‍යාණය කියන්නෙ ලස්සන දිදුලන නිරෝගී සමකට, දද, කුෂ්ඨ ,කණ්ඩු(කැසීම්), ශ්විත්‍ර(සුදු කබර) , ආදී   රෝග වලින් තොර, අධික වියළිත් නොවන, දහඩියෙන් අධිකව තෙත් නොවු සමක් පවත්වා ගැනීමටයි.

මේ සදහා බාහිර ආලේපන පමණක් යොදාගෙන නම් බැහැ මොකද ඒක තාවකාලික පිලියමක් විතරයි.ශරීරයේ අභ්‍යන්තරයත් අපි ගන්නා ආහාර වලින් පරිස්සම් කරගන්න වෙනවා.

තද ලුණු ,තද ඇඹුල් ආහාර වර්ග අධිකව භාවිතය නොකල යුතුයි . මෙය සම රැලි වැටීමට හේතුවක්. ඒ මේවා මගින් සම වියලවනවා, රූක්ෂ බවට පත්කරනවා. අන්නාසි, අච්චාරු , සෝස් වර්ග,ආදියෙන් ජලයෙන් සිරුර පිරුණු ස්වභාවය වියළවා, සම පුපුරන්නට, පතුල් පැලෙන්නට, යටිපලු දාහයද ඇති කරනවා.

ඒ වගේම මේ සඳහා පාරම්පරික රක්ත රෝගද බලපාන නිසා එවැනි අය රක්ත ශෝධක ඖෂධ භාවිතා කර ඒ තත්ත්වය අඩුකර ගත යුතුයි.

එමෙන්ම සිරුරට  යම් ආසාදන තත්ත්වයක් නිසා සමේ දද,කුෂ්ඨ ආදිය ඇත්නම් එයට සුදුසු බාහිර හා අභ්‍යන්තර ප්‍රතිකාර කර ඒවා සුවපත් කරගත යුතුයි.

එසේම දියරමය ස්වභාවය වැඩි කැකිරි,පිපිඤ්ඤා,කොමඩු වැනි ආහාර නිතර ආහාරයට ගත යුතු අතර කැරොටීන් අඩංගු කැරට්,කහ ලාවුලු,වට්ටක්කා වැනි කහ පැහැ එළවළු හා පලතුරු ආහාරයට ගැනීමෙන් නිරෝගී සමක් අපට ඇතිකරගෙන පවත්වා ගත හැකිය.

Tuesday, July 2, 2019

පංච කල්‍යාණය රැකගනිමු -03 මාංශ කල්‍යාණය


කලින් ලිපි වලින් අපි කේෂ කල්‍යාණය හා දන්ත කල්‍යාණය ගැන කථාකරපු නිසා අද මාංශ කල්‍යාණය ගැන කථාකරමු.

ඇත්තටම මාංශ කල්‍යාණය කියන්නෙ මොකද්ද. අපිට මේ වචන ටික එතරම් හුරු නැතිවුනත් හැඩැති නිරෝගී සිරුරක් කියලා කිවොත් කාටත් පැහැදිලි වෙයි කියලා හිතනවා.

අධිකව ස්ථුලත් නොවන අධිකව කෘශත් නොවන හැඩැති සිරුරක් පවත්වා ගැනීම මෙහිදී සලකා බලනවා.මන්ද මස් අධිකව උදරය, පපුව හා නිතඹ එල්ලා හැලීම අපි කාටත් මහත් හිරිහැරයක් නිසා.

මේ සදහා නිසි අයුරින් ව්‍යායාමයෙහි යෙදීමත් පමණට වඩාඅහාර නොගැනීමත් කළ යුතුයි . හැකි තරම් මස් මාංශ අනුභවයෙන් වැලකීම මේ සදහා කල යුතුයි .

මේ නිසා දියවැඩියාව,අධිරුධිර පීඩනය ආදී හෘද රෝගත්, සන්ධි වේදනා, කොලෙස්ටරෝල් ආදී රෝග වලටත් ගොදුරු වීමේ හැකියාව අඩුකර ගත හැකියි.


Thursday, June 13, 2019

පංච කල්‍යාණය රැකගනිමු - 2 දන්ත කල්‍යාණය




කලින් ලිපියෙන් අපි කේෂ කල්‍යාණය ගැන කතාකලා. අද අපි කතාකරන්න යන්නෙ අපේ දත් ගැන. දත් කියන්නෙ අපිට ඉතාම වටිනා දෙයක්. මුඛ සෞඛ්‍ය ගැන වර්තමානයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවෙලා තිබෙන බව අපි කවුරුත් දන්නවා .

දත් මුල් දියවීම,දත් දිරායාම,දත් ඇන්දේ නොයෙක් විකෘති එනම් ඉදිරියට නෙරා ඒම, නල දත් ආදිය නොමැති අලංකාර දත් දෙපලක් තිබීම දන්ත කල්‍යාණය කියලා කියනවා.

මේ දත් දෙපල හොදන් පවත්ව ගන්න අපිට කරන්න පුළුවන් මූලිකම දේවල් තමයි,
දත් මදින බුරුසුව පිරිසිදුව තබාගැනීම.
උදේට හා රාත්‍රියට දත් මැදීම.
කැල්සියම් සහිත ආහාර වර්ග භාවිතය.
අධික උෂ්ණ සහ අධික ශීත ආහාර නොගැනීම යනාදිය.

ඒ වගේම තමයි තද රස්නයෙන් තේ,කිරි ආදීය පානයද ,තද ඇඹුල් සහිත ආහාර,පැණි රස ආහාර අධික ලෙස ආහාරයට ගැනීමත් ⁣නොකල යුතුයි.

අපි එවැනි ඇඹුල් හෝ පැණිරස ආහාරයක් ගත් විගස කට සෝදා දැමිම කල යුතුයි. එවිට දත් අතර රැදෙන අනවශ්‍ය ආහාර කොටස් ඉවත්වන බැවන් බැක්ටීරියා වර්ධනය අවම කරනවා.

මේ අයුරින් කටයුතු කලොත් නම් අපිට ලස්සන දන්ත කල්‍යාණයක් පවත්වා ගන්න පුළුවන්.

Sunday, May 26, 2019

පංච කල්‍යාණය රැකගනිමු 1 - කේෂ කල්‍යාණය



අපි අද කතාකරන්න හිතුවෙ බොහෝ දෙනෙකුට ඉතාම වැදගත් මාතෘකාවක් ගැන. පිරිමි පාර්ශවය කෙසේ වෙතත් කාන්තා පාර්ශවය නම් මේ ගැන ලොකු අවධානයක් යොමු කරනවා.ඒ තමයි පංච කල්‍යාණය. මේ පිලිබදව ලිපි කිහිපයකින් අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙම ලිපි මාලාවේදි මුලින්ම අපි කේෂ කල්‍යාණය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

තරුණ යුවතියකට නම් තමන්ගෙ කෙස් කළඹ කියන්නෙ ඉතාම වැදගත් ආභරණයක් වගේ වටිනා දෙයක්. මෙම කේෂ කල්‍යාණය නිරෝගීව අලංකාරව පවත්වා ගැනීම කියනනෙ ලේසි පහසු දෙයක් නෙවෙයි.

ඉස් හොරි, පොතු කබර(සොරයිසිස්), අකලට කෙස් යාම, අකලට කෙස් සුදුවීම, උඳුගොව්වන් කෑම, ආදියෙන් තොර නිරෝගී කෙස් කළඹක් පවත්වා ගන්න ඕන.

මේ උපද්‍රව වලින් තොරව කෙස් කළඹ පවත්වා ගැනීමට එදිනෙදා ජීවිතයේදි පිළිපැදිය යුතු කරුණු කිහිපක් පහතින් දක්වන්ම්.

එයට කොන්ඩය පීරන පනාව, පිස දමන තුවාය, ආදිය ඉතා පිරිසිදුව පවත්වා ගන්නා අතර හොද පෝෂණීය ආහාර ලබා ගැනීමත් කල යුතුයි.මේ සඳහා තල, නෙළුම් අල, අළු කෙසෙල් *, රට ඉඳි , පලා වර්ග, ආදිය ආහාර ගැනීමත් කළ යුතුයි.

*මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අළු කෙසෙල් ගැන අපේ නූතන පරම්පරාව තුල පවතින දුර්මතය. ඒ⁣ පරගැති බව හා නොදන්නා කමනිසා වෙන්න පුළුවන්. ගොඩක් තරුණියන් අළු කෙසෙල් ආහාරයට ගන්නෙ නැහැ වඳ භාවය ඇති වෙනව කියලා ඒ උනාට ක්ෂණික කෘතිම ආහාර, ⁣අධික වීෂ සහිත පැණි බීම වර්ග ආහාරයට එකතු කරගන්නේ එවගෙන් කිසිම ලෙඩක් ඇතිවෙන්නෙ නැහැ වගේ.

අළු කෙසෙල් කියන්නෙ ඉතාම ඉහල පෝෂණ ගුණක් සහිත ආහාරයක් අපේ මුතුන් මිත්තො මේ ආහාර නිසා තමයි මහා දාගැබ්, වැව් අමුණු බැන්දේ. නැතුව සුද්දන්ගෙ කෑම කලා නෙවෙයි. අළු කෙසෙල් කන්න එපා කියන්නෙ සුද්දො උන්ට ඕන උනා අපේ ශරීර ශක්ති හීන කරන්න අපි තාමත් කන්නෙ උන්ගෙ ලණු. අළු කෙසෙල් කෑවට එහෙම වඳභාවයක් ඇතිවෙන්න විධියක් නැහැ.  මේ ගැන වෙනම ලිපියකින් ඔබව දැනුවත් කරන්නම් .

ඒ වගේම තමයි හි⁣සේ ඖෂධීය තෙල් වර්ග ගැල්වීම කරන්නත් ඕන. නිතරම හිස සෝදා පිරිසිදුව තබා ගැනීම නම් ඉතාම වැදගත් මොකද එහෙම නැතිනම්  කෙස් හා හිසේ සම අතර තෙල් හා ස්නේහ ස්‍රාවී ග්‍රන්ති වලින් පිටවන ස්‍රාවයන් එක්ක බාහිර පරිසරයෙන් එකතුවෙන කුණු, දූවිලි ආදිය නිසා එතැන අපිරිසිදු වී බැක්ටීරියා, දිලීර, වෛරස් ආදියට වර්ධනය වී එතැන ආසාදනයට  ලක් වෙලා ඉස්හොරි ආදී රෝග ඇති වෙන්නත් පුළුවන්.

මෙහිදී අපි නොදන්නා දෙයක් තමයි ඉස්හොරි ඇතිවෙන්න අපේ ඇගේ රුධිරය දූෂණය වීමද සෘජුවම බලපාන බව. මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඉතා සාර්ථක ප්‍රතිකාර තියනවා.

මේ දේවල් ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පොදු බවත් කියන්න කැමතියි.

වි⁣ශේෂයෙන්ම හිසේ තෙල් ගැල්වීමේදි හිසකෙස් හොදින් වියළි තත්වයේ පැවතිය යුතුයි.දිය නෑමෙන් පැයකට පමණ පසු හිසේ තෙල් ගැල්වීම තමා හොදම. නාන්න කලින් තෙල් ගානවා නම් අඩුම තරමින් නෑමට පැයකටවත් කලින් තෙල් ගැල්වීම කලයුතුයි.

මේ පිළිබදබ බොහෝ දේ කථාකරන්න තිබුනත්  ලිපිය දිග වැඩිවෙන නිසා දැන් නවතින්නම්. අළු කෙසෙල් ගැන සඳහනේදී කාගේ හරි හිත රිදුනනම් සමාවෙන්න ඕන. ඒත් ඒ ගැන දෙපාරක් හිතනන කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා .මීලඟ ලිපියෙන් අපි දන්ත කල්‍යාණය ගැන කතාකරමු.
ස්තුතියි
#SDP#



Thursday, May 23, 2019

වසන්තය සුන්දරද එතරම්ම සියොතුන්ට



හැම ගසකම මල් පිපිලා ඊට සති කිහිපයකට පස්සෙ ගෙඩිත් හැදෙනවා. පරිසරයත් සෞම්‍යයි. තද අව්වත් නැහැ. තද වැස්සත් නැහැ. ළමා ලපටි , බාල මහලු අපි හැමෝම බලාන ඉන්නෙ මේ වසන්තය එනකල්.මොකද ඉඩෝරය ඉවර කරනවා වගේම අපි හැමෝගෙම වියලුනු සිත් තෙත් කරන්න වසන්තයට පුළුවන්.

 තරුණ තරුණියන්ටත් මේ කාලෙට සිකුරා ලබනවා කියලා තමයි දැනමුත්තො කියන්නෙ නම්. ඒ සිත් වලටආදරයෙන් බැදෙන්න මේ පරිසරයේ තියෙන අපූර්වත්වය ඔවුන්ට උපකාර කරනවා ඇති.
මේ තමයි අපි හැමෝම හිතන අපි අත්විදින අපේ කථාව.

ඒ වගේම තමයි පරිසරයත් එක්කම ජීවත්වෙන සත්තුත්  මේ වසන්තය එනකල් මග බලාන ඉන්නවා. හැම ගසක්ම පලබර වෙන නිසා ඔවුන්ටත් හිතේ හැටියට කෑම තියෙනවා.

තරුණ කුරුල්ලොත් මේ අතර ඉන්නවා ඔවුනුත් අලුතින් කූඩුවක් හදන්නෙ මේ කාලෙට තමයි. ඒ මොකද තමන්ගෙ සහකාරිය කැන්දන් එන්න.

ඔවුන් සතුටින් ජීවත් වෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.

ඒත් ඇත්තටම ඒක එහෙමද?

ඒ කුරුල්ලො වසන්තය ආවා කියලා තමන් කරන කියන කටයුතු සියල්ල නවතලා වසන්තය අපිට සියල්ල දෙනවා කියලා හිටියොත් උන්ට මොකද වෙන්නෙ.බඩගින්නෙ මැරෙන්න නේද ? නැතිනම් තවත් සතෙකුගේ ගොදුරක් වෙන්න නේද?

ඌට උගේ දිවි රැක ගන්න නම් අත්තටු දෙකෙන වැඩ ගන්න වෙනවමයි නේද?

ඒ සියොතුන් තමන්ගෙ අත්තටු වලින් ප්‍රයෝජනයක්  නොගන්නාතාක් කල් ඔවුනගේ ජීවිතය සුන්දර වේවිද වසත්කල පැමිණුනා කියා.....

අපේ ජිවිත වල යථාර්ථයත් මෙයම නොවේද...? 

මුත්‍රා ගල් වලට සුවය දෙන අක්කපාන කොළ සම්බෝලය




අපි අද කතා කරන්න යන්නේ අක්කපාන කොළ සම්බෝලයක් හදාගන්නේ කොහොමද කියන එක ගැන.
ගමේ ගොඩේ (ඇත්තටම ගොඩේ නෙවෙයි) ඉන්න අපේ වැඩිහිටි පරපුරේ බොහො දෙනෙක් නම් මේ රසවත් කෑම ගැන නොදන්නවා වෙන්න බැහැ.
මොකද ඔවුන් තමන්ගේ නිරෝගි කම ගැන බොහොම ඉහලින් සිතපු අය. අපි වගේ කාර්යබහුල ජීවිත එයාලට තිබුනේ නැති නිසා මේ ස්වාභාවික දේවල් හැකි සෑමවිටම තමන්ගේ ආහාරයට එකතුකර ගත්තා .

දැන් අපි බලමු කොහොමද මේ සම්බෝලය හදාගන්නේ කියලා,
මුලින්ම අපිට ඕන කරනවා ,

අක්කපාන දළු කොළ මිටක්,
පොල් මිටක්,
දෙහි ගෙඩියක්,
රතුලූණු ගෙඩි 5/6 ක්,
අමු මිරිස් කරල් 3/4 ක්,
ලුනු ස්වල්පයක්

(මෙම ප්‍රමාණ සාමාන්‍යයෙන් 4 දෙනෙකුට ප්‍රමාණවත්)

දැන් මුලින්ම අක්කපාන කොළ ටික හොඳින් සෝදා සිහින්ව කපාගෙන ඒවා ලුනු දියර දැමු භාජනයකට දමා හොදින් තදකර විනාඩි කිහිපයක් තබා හොඳින් මිරිකා  පිටතට ගන්න.

ඉන් පසු පොල් මිටට රතුලූණු , අමු මිරිස් සිහින්ව කපා මිශ්‍රකර එයට ලුනු  සහ දෙහි ප්‍රමාණවත් පරිදි එකතු කරගන්න.

දැන් එයට කලින් සකසාගත් අක්කපාන කොළ  එක්කර  හොදින් මිශ්‍රකර ගන්න .

මෙම ආහාරය මුත්‍රා ගල් ‌රෝගය සදහා ඉතා හොද ආහාරයකි.

නමුත් ඕනම දෙයක් ප්‍රමාණය ඉක්මවා ගැනීම එතරම් සුදුසු නැති බව මතක් කරන්න  කැමතියි .
ඒ වගේම මුත්‍රා ගල් ඇති අයත් නැති අයත් හොදට ජලය පානය කිරීමට පුරුදු වීම නම් ඉතාම හොද පුරුද්දක්.

මාස කිහිපයක් නිහඩව ඉන්න උනාට සමාවෙන්න කියලා මගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කාලය තුලදිත් මගේ blog අඩවිය අත් නොහැර හිටපු සියලු දෙනාටමත් ස්තූතිවන්ත වෙන අතරම දැන් නැවතත් සියල්ල සැනෙකින් blog අඩවිය හා රැදීසිටින මෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ස්තුතියි  !

Tuesday, November 20, 2018

ඔබත් ආහාර ගැනීමේදී මෙම වැරදි කරනවාද?


මම මේ ලිපියෙන් කතා කරන්න හිතුවෙ එදිනෙදා ජීවිතයේදි අපි අතින් ආහාර ගැනීමේදී නොදැනුවත්ව වෙන්න පුළුවන් වැරදී කිහිපක් ගැන.

අපේ කාර්යබහුලත්වයත් එක්කම අපි ඉතා ඉක්මනින් ආහාර ගැනීමට පුරුදුවෙලා ඉන්නවා. ඒත් එවිට ආහාර හොදින් හපා කෑමක් සිද්ද වෙන්නෙ අඩුවෙන්. මේ නිසා ආහාර දිරවීමේදි අපහසුතාවයක් ඇති වෙනවා.

ඒ වගේම තමයි තෑම කැවට පස්සෙ ආමාශයේදි ආහාර ආමාශයේ ස්‍රාවන් සමග හොදින් ගැටෙන්න ඔ්න. ඒත් කෑම කාලා වතුර ගොඩක් බිව්වොත් මේ ස්‍රාවයන්ගේ සාන්ද්‍රනය අඩු වෙන නිසා, ආහාර ආමාශය තුල පල් වීමට ඉඩක් තියෙනවා.
ඒ නිසා ආහාර ගත් විගස ලොකු වතුර ප්‍රමාණයක් පානය කිරිම හොද දෙයක් නම් නෙමෙයි.

අනිත් දේ  තමයි අපි කෑම ගන්න කොට මාළු සහ කිරි එකට ගැනීම නම් හොද නැහැ. මොකද මෙි වර්ග දෙකම සෙම වඩන නිසා මේවා එකට ගත්තම සෙම රෝග ඇති වීමේ හැකියාව වැඩියි.

කියන්න ඔ්න තවත් දෙයක් තමයි රෑට මුදවාපු කිරි කෑම නම් අහිතකරයි. මොකද මී කිරිද සෙම වැඩෙන අහාරයක්.මේ නිසා ශරීරයේ ඇතිබෙන සියුම් ශ්‍රොතස්(සිදුරු) අවහිර කරනවා.

ඒ වගේම ශීතකරණයේ ඇති සීතල වතුර නම් පුරුද්දක් විධියට බොන එන හොද නැහැ.
ප්‍රතිශ්‍යාව ඇති විට, කුඩා දරුවන්ට ( බාල කාලයේ සෙම් රෝග වැඩි නිසා ) එතරම් හොද නැත. ග්‍රීෂ්ම කාලයේ නම් බිව්වට වරදක් නැහැ.
 ඒ වගේම පරණ ආහාරත් මෙහි තබාගෙන දින ගනන් කෑම ජීර්ණ පද්ධතිය ආශ්‍රීත  රෝගද වැලදෙන්න පුළුවන්.

මේ වගේ සුළු කාරණා ගැන දැනුවත් වෙලා අපිත් නිරෝගී ජීවිතයක් ගතකරමු.



Monday, November 19, 2018

දියවැඩියාවට අට්ටික්කා ගෙඩි මැල්ලුම


ගමේ ගොඩේ කෑම කියද්දි කටට ටිකක් කෙලත් උනනවා නේද? ඉස්සර ගම් වල හිටපු අපේ ගැමියො නම් මේ කැම කාලා දියවැඩියාව, හෘදයාබාධ, අධිරුධිර පීඩනය ,කොලෙස්ටරෝ එහෙම හදා ගත්තා කියලා අපිට අහන්න ලැබිලා නැහැ.

නමුත් වර්තමානයේ පවතින සංකීර්ණ ජීවන රටාවත් එක්කම අපි ගන්න ආහාරත් වෙනස් වෙලා තියෙනවා. හැමදාම එකම විධියෙ කෑම වේලක් තමයි අපිට කන්න සිද්ද වෙලා ඉතින්.
මේ නිසාම අපේ සමාජයේ බෝ නොවන රෝග වැළදීමේ සම්භාවිතාවයත් වැඩි වෙලා තියෙනවා.

අපිට පුළුවන් වෙලාවක හරි ගමේ කෑමක් කාලා ශරීරයට පොඩි සහනයක් දෙන්න වග බලාගමු නේද.

අද අපි බලමු දියවැඩියාවට ගුණ අට්ටික්කා මැල්ලුම ගැන.
බොහොම ගුණවත්, ඒ වගේම රස කෑමක්. අට්ටික්කා ගස්යට වැටිලා කුණුවෙලා යන එකේ ගෙඩි ටිකක් හොයාගෙන ඇවිත් මැල්ලුමක් කලා බලමුද ?

ඉස්සෙල්ලම අපිට කරන්න තියෙන්නෙ තරමක් පැසුනු අට්ටික්කා ගෙඩි 10-15 ක් හොයා ගන්න එක.
 ඊට අමතරව,
 සිහින්ව ගා ගත් පොල් - අඩු කෝප්ප 1 1/2
ලුණු ස්වල්පයක්
රතු ළුෑනු ගෙඩි - 4
අමු මිරිස් කරල් - 6
ගම්මිරිස් ඇට - 6
කරපිංචා කොල -5
සූදුරු ස්වල්පයක්
ගොරකා කැබැල්ලක්

දැන් අට්ටික්කා ටික හොදට හෝදලා පෙති ගහගන්න ඔ්න.ඒ ටික භාජනයකට දමා
 අවශ්‍ය තරම් ලුණු හා ගොරකා කැබැල්ල හා වතුර දමා තැම්බෙන්න තියන්න.

ඉන් පසු, පොල්, කරපිංචා, ගම්මිරිස්, ළුෑනු, සූදුරු, අමු මිරිස් එකට දමා හොදින් සම්බෝලයක් අඹරා ගන්න.

ඊට පස්සෙ තැම්බුනු අට්ටික්කා වල තව වතුර ඉතිරි වෙලා තිබේ නම් ඒවා ඉවත් කර, සාදාගත් සම්බෝලය අට්ටික්කා වලට එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.

( මෙයට කොස් ඇටද දමා තැම්බෙන්නට තබා පසුව සම්බෝලය එක්කල හැකිය )

මේ රස ගුණ පිරි ආහාරය ඔබත් රස බලන්න