Pages

Tuesday, October 30, 2018

සර්ප දෂ්ටනයකදී කල යුත්තේ කුමක්ද?


සර්පයෝ කියලා මතක් වෙද්දිත් හිතට පොඩි චකිතයක්, තිගැස්මක් එනවා නේද? රාත්‍රී කාලයේ ගමනක් බිමනක් යද්දි මග තොටේදි සර්පයෙක් හමු වේද කියා සැකෙන් තමයි අපි ගොඩක් වෙලාවට රෑට යන්නෙ.

සාමාන්‍යයෙන් සර්ප දෂ්ට කිරීම් ලොකයේ බහුතරයක් රටවල නිතරම පාහේ සිද්ද වෙන දෙයක්. ඒ වගේම මේ නිසා බොහෝ ජීවිත පවා අවධානමට ලක්වෙනවා.

සර්ප දෂ්ට කිරීමකදී අපි කල යුත්තේ කුමක්ද?

මුලින්ම කියන්න තියෙන්නෙ මේක සුළුපටු දෙයක් නෙවෙයි, නමුත් මේ අවස්ථාවේ කලබල වීමත් කොහොමටවත් හොද නැහැ. රෝගියාව විශේෂ වෛද්‍යවරයෙකු වෙත ගෙනයන අතරතුර කාලයේදී අනිවාර්යෙන්ම කලයුතු ප්‍රථමාධාර හා අත් බෙහෙත් තියෙනවා.

මුලින්ම කරන්න තියෙන්නෙ දෂ්ට කරපු ස්ථානය ගලා යන ඇල් දියෙන් සෝදන එකයි.

කකුලේ කෑවා නම් උස් තැනක නොතියා  බිම තබා සතා කාපු තැනට උඩින් රෙදි පටියකින් තරමක් තදට බදින්න. ඊට පස්සෙ රෝගියාව පොලොවට පහත් වන විධියට තියන්න, නැතිනම් නිදි කරවන්න. ඇවිදීම නම් නොකල යුතුයි, මොකද ඇගට ඇතුල්වූ විෂ සිරුර පුරා ව්‍යප්ත වෙන්න පුළුවන් ඇග ක්‍රියාශීලි උනොත්.

ඉන් පසුව දෂ්ට කල ස්ථානය හොදින් මිරිකා ලේ ඉවත් කිරිම.
නැතිනම් විෂ ලෙය උරා ඉවතට දාන්නත් පුළුවන්.

ඊට පස්සෙ ගිතෙල්, මී පැණි බීමට දෙන්න සිහිය පවතී නම් පමණක්.
හිසේ බෙහෙත් තෙලක් ( ගිතෙල් ) ගල්වන්න.

ඉන් පසුව දෙහි දලු, අමු ඉගුරු, දෙහි ඇඹුලින් අඹරා තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් බොන්න දෙන්න.
 නැතිනම් කරපිංචා පංචාංගයම කැද උයා බීමට දෙන්න.
කොත්තමල්ලි, වෙනිවැල්ගැට තම්බා දෙවරක් බීමට ‌ද‌ෙන්න.

 මෙම අත් බෙහෙත් අතරතුර විෂ වෛද්‍යවරයකු වෙත හෝ රෝහලක් වෙත රෝගියාව ගෙනයාමට කටයුතු කිරිම තමයි හොදම  දේ.

විශේෂයෙන්ම රෝගියාට සිහිය නොමැති නම් කිසිවක් පොවන්න එපා. හැකි විගස වෙද මහතකු හෝ වෛද්‍යවරයකු වෙත හෝ රෝහලකට ගෙනයන්න.

බල්ලෙක් හැපුවොත් කරන්නෙ මොනවද?


බල්ලා කියන්නෙ අපේ ගෙවල් වල සුරතලේට ඇති කරන සතෙක්. ඒ වගේම අපිට ආරක්ෂාව දෙන්නත් මෙයා සැදී පැහැදී තමයි ඉන්නෙ. තමන්ගෙ ස්වාමියාට හරි ගෙදරට හරි අනතුරක් කියලා එයාට හිතුනොත් හතුරගෙ හපන්න දෙපාරක් හිතන්නෙත් නැහැ. මේ සුනඛ හපා කෑම් අපිට නිතරම අහන්න ලැබෙන දෙයක්. ඒ වගේම ගොඩ දෙනෙක් බය වෙන දෙයක්. ‌ම‌ෙහෙම දෙයක් උනොත් අපිට ගෙදරදී මොකක්ද කරන්න පුළුවන් කියලා දැන් අපි බලමු.

බල්ලෙක් හපපු ගමන් මුලින්ම කරන්න තියෙන්නෙ සතා හපපු තැන හොදට සබන් ගාලා හෝදන එක.

බල්ලාට පිස්සු හැදී ඇත්නම්,
 වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහලක් වෙත යන එක තමයි හොදම දේ.

 එහෙම නැති නම්,
 මුරුංගා දලු, අමු කහ කොටා එහි ඉස්ම මිරිකා තුවාලයට දමා ඉන් පසු ඒවා මලවා තුවාලට බදින්න.

එහෙම නැතිනම් අඹ පොතු , හුණු සමග අඹරා තුවාලයේ ගාන්නත් පුළුවන්.

නිවෙස් වල ඇති කරන ගොඩක් සුනඛයින් එන්නත් කර ඇති නිසා මේ වගේ අත් බෙහෙතක් කලාම හොදටම ප්‍රමානවත්. ඒත් දඩාවතේ යන සුනඛයෙක් නම් රෝහලකට යන එක තමයි හොදම දේ.

Monday, October 29, 2018

මුත්‍රා ගල් වලින් වැළකීමට පහසුම ඔසුව ගෙදරම



මුත්‍රා ගල් කියපු සැනින් සිතට බියක් දැනුනද?

මුත්‍රා ගල් කියන්නෙ වකුගඩු,මුත්‍රාශය ආශ්‍රිතව අධික ලවණ සාන්ද්‍රනය නිසා ගල්, වැලි ආදිය ඇති වීමයි.දෛනිකව ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලබා නොගැනීම මීට ප්‍රධාන හේතුවයි.

මේ සදහා අපේ ගෙවල් වල තියෙන හොදම ඔසුව තමයි කැකිරි. මුත්‍රා දැවිල්ල ආදියෙදි නම් පොල්පලා වතුර, තැඹිලි වතුර බිව්වම ලෙඩේ අඩු වෙනවා.ඒත් මුත්‍රා ගල් හැදුනොත් ලේසියෙන් හොද වෙන්නෙ නම් නැහැ.ලොකු වියදමකුත් යනවා බෙහෙත් වලට.

ඉතින් අපිට කරන්න පුළුවන් හොදම දේ තමයි අපේ ආහාර මගින් අවශ්‍ය බෙහෙත් ගන්න එක.කැකිරි වලට මුත්‍රා ගල් දියකිරීමේ විශේෂ ගුණයක් තියෙනවා. ඒ වගේම පිටවෙන මුත්‍ර ප්‍රමාණය වැඩි කරන්න, මුත්‍රාශය සුද්ද කරන්න, ඇග නිවන්න සහ වෙහෙස සංසිදවන්නත් මේ කැකිරි වලට පුළුවන්.

අපිට කැකිරි පහසුවෙන් සොයාගන්න පුළුවන් වගේම රසට උයාගන්නත් පුළුවන්.
සතියකට දෙතුන් පාරක් කැකිරි ව්‍යංජනයක් කෑම වේලට එකතු කර ගන්න හැකි නම්, මේ ලෙඩේ ඇති නැති හැමෝටම එක වගේ ප්‍රයෝජනවත් නේද....

අපේ මුදලත්, කාලයත්, නිරෝගීකමත් පහසුවෙන් රැකගන්න අපේ ආහාර අරගන්න.

Friday, October 26, 2018

හිස්හොරි වලින් නිදහස් වෙමු.....( නිවසේදී නිතර අතවශ්‍ය වන අත් බෙහෙත් - 8 )


 හිස්හොරි කියන්නෙ අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විදින රෝගි තත්වයක් . හිසේ පිරිසිදු බව අඩු වූ විටත්, පීනස ආදී තත්ත්ව වලදීත් ඇති විය හැකියි. මේ සදහා අපිට නිවසේදීම ප්‍රතිකාර කරගන්න පුළුවන්.

මුලින්ම හිස පිරිසිදු කරගන්න එක තමයි කරන්න තිබෙන හොදම දේ.
 ඒ සදහා...
 වෙරළු කොළ, කොහොඹ කොළ මිට බැගින් ගෙන හොදින් ලියා ගෙන එයට අමු කහ කැබලි කිහිපයක්ද කපා දමා ඒවා හොදින් බ්ලෙන්ඩර් කර පෙර එහි ඉස්ම ගෙන හිසේ ගා පැය 1/2 කින් පමන හොදින් හිස සෝදා ස්නානය කරන්න. මෙහෙම සතියට දින කිහිපක් පමණ කරන්න. සති කිහිපයකින් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

එහෙම නැතිනම් උළුහාල් සමග දෙහි ගැට කැබලි වලට කපා හොදින් තම්බා පොඩිකර නිවුනු පසු හිසේ ගා පෙර පරිදිම ස්නානය කරන්න පුළුවන්.

ඉන් පසු හිසකෙස් හොදින් වේළුනු පසු හිසේ තල තෙල් හෝ බෙහෙත් තෙලක් ගල්වා හොදින් හිස සම්බාහනය කරන්න. මේ විධියට කරොත් නම් අනිවාර්යෙන් හොද ප්‍රතිඵල ගන්න පුළුවන්.

කුරුලෑ වලට හොදම විසදුම මෙන්න...( නිවසේදී නිතර අතවශ්‍ය වන අත් බෙහෙත් - 7)


ඔබත්  නිතරම කුරුලෑ වලින් පීඩා විදිනවාද මෙන්න විසදුම. නිවසේදීම අපිට පහසුවෙන් සොයාගන්න පුළුවන් දේවල් තමයි,
   සුදුළුෑණු, අමු කහ , උදුපියලිය සහ මී පැණි කියන්නෙ.
 ඉතින් සුදුළුෑණුයි අමු කහයි අරගෙන හොදට බ්ලෙන්ඩර් කරගෙන ලැබෙන තලපයට මී පැණි මිශ්‍රකරලා ( හොදට ක්‍රීම් එක වගේ වෙනකල්) ඒක කුරුලෑ තියෙන තැන ආලේප කලාම හරි.
 එහෙම නැති නම් උදුපිලිය කොලයි, සුදුළුෑණුයි අඹරලා ගෑවත් හොදයි.

කියන්නම ඔන දෙයක් තමයි මේ තත්වයට ප්‍රධාන හේතුවක් තමයි සමේ අපිරිසිදුකම ඉතින් සම පිරිසිදුව තියාගන්න එක ඔයාගෙ වැඩක්.
 ඒ වගේම මේ ප්‍රතිකාර කරනකොට පැරණි රස හා තෙල් සහිත ආහාර හැකි තරම් අඩු කරලා උණු ජලය පානය කරලා  වඩා හොද ප්‍රතිඵල ගන්නත් පුළුවන්..


Thursday, October 25, 2018

නිවසේදී නිතර අත්‍යවශ්‍ය වන අත් බෙහෙත් - 6 ( වමනය )


මම අද කතා කරන්න යන්නෙත් අපිට නිතරම වගේ වැළදෙන රෝග තත්වයක් ගැන. වමනය කියලා අහද්දි ටිකක් අප්‍රසන්න උනත් මේ ලෙඩේ නොවැළදුනු කෙනෙක් නම් නැතිව ඇති කියලා මං හිතනවා.
 වැඩි විස්තර නැකිව අපි දැන් කතාව පටන් ගමු.

වමනය ඇති වෙන්න හේතු බොහෝමයක් බලපාන්න පුළුවන්. නිතරම දකින්න පුළුවන් හේතු නම්, අජීර්ණ, ආහාර විෂ වීම්, උදර රෝග හා ගර්භණි අවස්ථා වලදීද, ඇතැම් රෝග වල ලක්ෂණ ලෙසද වමනය ඇතිවිය හැකියි.

වමනයකදී ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් විය යුතු වන්නේ සිරුරේ පවතින ජලය ඉවත් වන නිසා සිරුර විජලනයෙන් ආරක්ෂා කර ගැනීමටයි. කුඩා  දරුවන් ගැන මේ නිසා වැඩි අවධානයක් මේ තත්වයේදී යොමු කල යුතුයි.

සාමාන්‍ය වමනයකදී අපිට කරන්න පුළුවන් මොනවද ?

1. විජලනය නැවැත්වීමට හැකිතාක් දියර වර්ග දීම කල යුතුයි. මේ සදහා දෙහි, දොඩම්, නාරං, දෙළුම් ආදියේ     යුෂ සීනි දමා දෙන්න පුළුවන්. අයිස් සමග දීමට හැකි නම් තවත් හොදයි. ජීවනී වගේ දෙයක් දෙන්නත්           පුළුවන්.

2. අමු ඉගුරු තම්බා සීනි දමා දීම.
3. කරාබු නැටි තලලා උණු වතුරට දාල බොන්න.
4. විලද කුඩු මී පැණි සමග කන්න.
5. දෙහි යුෂ සීනි සමග බොන්න.
3. සාදික්කා ගලගා දෙහි ඇඹුලින් දීම.
4. බෙලිමුල් තැම්බූ වතුරට මී පැණි මිශ්‍ර කර බීම ද හොදයි.
5.ගම්මිරිස් පොඩිකර හෝ කබලේ බැද තම්බා ටික ටික දෙන්න.
6. අඹ පොතු තම්බා සීනි දමා බොන්න.
7. මාදම් පොතු තම්බා සීනි දමා බොන්න.
8.දිවුල් මද මිරිකා සීනි දමා බොන්න.
9.පොල් විනාකිරි  හා වතුර අවුන්ස දෙක බැගින් ගෙන එයට සීනි තේ හැදි 6 ක් පමණ දිය කර ටික ටික     බොන්න.
11.සුරං විදුර ගුලියක් දෙහි ඇඹුලින් බොන්න.
12. සීතාරාම ගුලි 2 ක් ඉගුරු ඉස්මෙන් උක් හෝ මී පැණි සමග බොන්න.
13.සස්සද මුල් දෙහි ඇඹුලෙන් ගලගා දෙන්න.

14. ළදරුවන්ගේ පණු වමනයට, කොහොඹ පොතු, දුම්මැල්ල,  කොහොඹ නැටි, කෂාය කර සීනි දමා බොන්න.

සාමාන්‍ය වමනයේදී මේ අත් බෙහෙත් වලින් ඔබට සුවයක් ලබා ගන්න පුළුවන්.

නමුත් මේවාට සුවයක් නොමැති නම් එය වෙනත් රෝගයක් වීමට ඉඩ ඇති බැවින් වෛද්‍යවරයෙක් වෙත යාම වඩා නුවණට හුරු ක්‍රියාවයි. තවත් මෙවැනිම ලිපියකින් නැවත හමුවෙමු.
තෙරුවන් සරණයි. !

ඇසුර - අත් බෙහෙත්





Monday, October 22, 2018

නිවසේදී නිතරම අත්‍යවශ්‍ය වන අත් බෙහෙත් - 5 ( මලබද්ධය)


මම මෙම ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මලබද්ධය කියන රෝගී තත්වය ගැනයි.
මෙම තත්වයේන් බොහෝ දෙනෙක් පිඩා වින්දද ලැජ්ජාව ආදිය නිසා හරිහමන් ප්‍රතිකාරයක් ගැනීමට ඔවුන් නොපෙලඹේ. අවසානයේ මේ තත්වය උත්සන්න වී  අර්ශස් ආදි රෝග බවට පත්වන තුරුම ඔවුන් නොදනී. එවිට අශ්වයා බොහෝ දුර ගොස් හමාරය. ඉස්තාලයේ දොර වැසීමට ප්‍රමාදය.

මොකක්ද මේ මලබද්ධය...

  මලබද්ධය කියන්නෙ මලපහකිරීමේ අවශ්‍යතාවය තිබුනද කෙතරම් උත්සාහ කලද මල පිටකිරීමට ඇති නොහැකියාවයි. පුරුද්දක් ලෙස දවසකට වරක් මල පහ කිරීමට පුරුදු වූ විට මෙය මග හරී යා හැකිය.
සහජයෙන්ම අර්ශස් ඇති අයට නම් තදේටම බලපායි.

මිට හේතු...

බොහෝ විට ආහාර අඩුවෙන් ගැනීමත්, දියර වර්ග අවශ්‍ය ප්‍රමාණයට නොගැනීමත් , මල පහ කිරීමේ අවශ්‍යතාවය දිගින් දිගටම යටපත් කිරීම ආදිය නිසාද, මානසික ආතතිය ආදිය නිසාද මෙය ඇති විය හැකිය.

අපිට කරන්න පුළුවන් මොනවද....

ප්‍රධාන වශයෙන් මෙවැනි අවස්ථාවල වැඩියෙන් මල වඩන කෙදි හා තන්තු සහිත ආහාර ගත යුතුය...
 එසේම...

1. දිනපතා නියමිත වේලාවට මල පහ කිරීමට පුරුද්දක් ඇති කරගැනීම.
2. මල වේග අමතක නොකිරීම.
3. වතුර වැඩිපුර පානය කිරීම.
4. අළුත් එළවළු, පලතුරු, පලා වර්ග දිනපතා ආහාරයට එකතු කර ගැනීම. (කෙදි සහිත - කොහිල දළු, අල, මුගුනුවැන්න, ගොටුකොල ආදිය)
5. වියලි මස්, මාළු, කරවල, වර්ග අඩුවෙන් කෑමට ගැනීම.
6. විරේක ඖෂධ වර්ග හැකි තරම් අඩුවෙන් භාවිතය.
7. කොල කැද පානය.

මලබද්ධය අර්ශස්, භගන්දර වැනි රෝග වලටද හේතු වන නිසා ඒවාට ප්‍රතිකාර ගැනීමද කල යුතුමය.

මේ සදහා කල හැකි අත් බේත්...

1.කතුරුමුරුංගා කොළ, කෙසෙල් මුව, කෙසෙල් බඩ සමග පරිප්පු, බෙලි, මුදවාපු කිරි, ගස්ලබු, කෙසෙල් ගෙඩි, බතල ආදිය නිතර ආහාර ලෙස ගැනීම මලබද්ධයට හිතකරයි.
2. අරලු කුඩු, සෙනෙහෙ කොළ, රට ඉදි, එකට අඹරා වරකට ග්‍රෑම් 60 ක් පමන දවසට දෙවරක් ගන්න.
3. වැල්මී කුඩු,අරළු කුඩු, සූකිරි, මුද්දරප්පලම්, එකට අඹරා ග්‍රෑම් 30 සිට 60 ක් උණු වතුරින් ගැනීම.
4. කස කසා ඇට හොදින් ගරා වැලි ආදිය ඉවත් කර වියලා තබා ගෙන දිනපතා මිටක් පමණ වතුරට දමා තබා බීම.
5. තිරස්සවාළු, අරළු,  නෙල්ලි, මුද්දරප්පලම්, සූදුරු සියල්ල චූර්ණ කර එකට අඹරා ග්‍රෑම් 40-60 දක්වා උණු වතුරින් ගන්න.

ඔබත් මේ ආහාර විහරණ හා අත් බෙහෙත් වලට යොමු වී මෙම පීඩාකාරී රෝගයෙන් අත් මිදෙන්න.
 තෙරුවන් සරණයි..!

ඇසුර - අත් බෙහෙත්.





නිවසේදී නිතරම අත්‍යවශ්‍ය වන අත් බෙහෙත් - 4 ( අම්ල පිත්තය / ගැස්ට්‍රයිටීස් )


කලින් ලිපි වලින් ඔබ ඔබේ නිරෝගී කම රැක ගන්නට යම් දැනුමක් ලබාගෙන ඇති බව මම හිතනවා. මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ අපේ සමාජයේ බහුලවම පවතින සුලබ රෝගයක් වන ගැස්ට්‍රයිටීස් නැතිනම් අම්ල පිත්ත රෝග ගැන ඔබව දැනුවත් කරන්නයි.

මුලින්ම බලමු අම්ල පිත්තය කියන්නෙ මොකද්ද කියලා...

ආහාර ගන්නෙ නැතිව ගොඩක් වෙලා ඉන්නකොට ආමාශයේ අම්ල ගතිය වැඩිවෙනවා ඒ වගේම සැර කෑම ජාති නිතර නිතර ගන්න එක, මානසික ආතතිය වගේ දේ වලින් ආමාශය ආශ්‍රිතව තුවාල ඇති වීම නිසා තමයි මේ තත්වය ඇතිවෙන්නෙ.


මේ රෝගය ඇති විට...

අම්ල රසට/ ඇඹුල් රසට උගුරට ඒම, උගුර හා පපුවේ දැවිල්ල, බඩ පුරවා දැමීම, හෘද ප්‍රදේශයේ වේදනාව, හිසේ කැක්කුම, ඇග පත දැවිල්ල, මල බද්ධය හෝ ද්‍රව මල පිටවීම හා මල පිටවන විට දැවිල්ල ආදි ලක්ෂණ පවති.
බොහෝ විට මේ රෝගීන් ඔවුනට හෘද රෝගයක්  හෝ පිළිකා රෝගයක් පවතීයයි රැවටීමට ඉඩ තියෙනවා. ඒත් රෝගය හරියට හදුනා ගත්තම ප්‍රශ්නයක් නැහැ.

 දැන් අපි බලමු මේ ලෙඩේට කරන්න පුළුවන් ප්‍රතිකාර නැතිනම් අත් බේත් මොනවද කියලා....

මුලින්ම කෑමෙන් බීමෙන් පරිස්සම් වීම තමයි හොදම දේ. ඔබට මේ රෝගය පවතී නම්, සෑදුන විට / වැඩිවුනු විට,

තැඹිලි වතුර, කිරි, පුහුල්, දියලබු, වැටකොලු, කරවිල, බණ්ඩක්කා ආදී එළවළු ආදිය භාවිතය හොදයි.

තේ, කෝපි , ඇඹුල් කෙසෙල්, තෙල් කෑම, බැදුම්, රතු මාලු, මිටි කිරි දැමූ ව්‍යංජන ආදියෙන්  වැලකීමද හොදයි.

මුලින්ම බෙහෙත් කිරීමේද විරේකයක් කර ගැනීම තමයි හොදම දේ.

1. සූකිරි කලං 6 ක්, අරළු කලං 6 ක් කුඩුකර උතුරන වතුර කෝප්පයකට දමා රැයක් වහලා තියලා පෙරාගෙන උදේ හිස් බඩට බීමෙන් විරේක උනාට පස්සෙ තැම්බුම් හොදි එක්ක බත් ටිකක් කන්න පුළුවන්.
2. පුරුද්දක් ලෙස උණු වතුර බීම හොදයි.
3. දිය බත් කෑම ඉතා ගුණයි.
4.අමු ඉගුරු යුෂ මේස හැන්දක් මී පැණි  තේ හැදි 1 ක් මිශ්‍ර කර දිවා රෑ කෑමට පෙර බොන්න.
5. සෝඩා වතුර බීමද හොදයි.
6. සැවැන්දරා, බෙලිමුල්, පත්පාඩගම් චූර්ණ කර උණුවතුරින් බීම.
7. බෙලි කොල ආසවයට උක් හකුරු දමා බීම.
8. කීකිරිදිය යුෂ තේ හැදි 2 බැගින් කිරි සමග දිනපතා උදේ හවස බොන්න.
9. කීකිරිදිය පවනේ වේලා කුඩු කර තියාගෙන ග්‍රෑම් 20 බැගින් බටර් සමග මිශ්‍රකර උදේ සවස ගන්න.
10.අත්තික්කා පොතු චූර්ණය ග්‍රෑම් 20 උදේ සවස බටර් සමග කෑම.
11. භාෂ්කර ලවණ ග්‍රෑම් 20 උදේ සවස  බටර් සමග අනා කෑම.
12. ශංඛ වටී ගුලි 1-2 දක්වා උණු වතුරෙන් ගන්න.
13.අභයාරිෂ්ඨය උශිරාසවය මිශ්‍රකර කෑමට පසු මේස හැදි 1 ක් බොන්න.
14. ශංඛ භෂ්ම මංචාඩි 1 ක් වතුර සමග බොන්න
15.මුස්තකාද්‍යරිෂ්ඨය හෝ අභයාරිෂ්ඨය අවුන්ස 1 බැගින් කෑමට පෙර ගැනීමද හොදයි.
16.කුෂ්මාණ්ඩකාවලේහය කලං 1 බැගින් උදේ සවස මාස 3 ක් පමණ පාවිච්චි කලයුතුයි.

 ඉතින් මේ කියපු ක්‍රම වලින් පහසු එකක් භාවිතයෙන්  ඔබට අම්ල පිත්ත රෝගයෙන් පහසුවෙන් සුවය ලබා ගන්න පුළුවන් වේ යැයි මම හිතනවා ඒ වගේම ඔබේ කාලයත් මුදලුත් එමගින් ඉතිරි කරගෙන නිරෝගි බව ලබා ගන්න.ලෙඩේ හැදෙන්න කලින් පරිස්සම් වීම තමයි හොදම දේ කියලත් මතක් කරන්නම්....

තෙරුවන් සරණයි...!

ඇසුර - අත් බෙහෙත්

 ඔබේ අදහස් යොජනා පහලින් comment කරන්න.

Sunday, October 21, 2018

නිවසේදි නිතර අත්‍යවශ්‍ය වන අත් බෙහෙත් - 3 (කෑම අරුචිය හ එවිට විහරණ විධි )


අපි කලින් ලිපියේදි කතා කලේ අජීර්ණය ගැන. කැම අරුචියත් ඒ එක්කම එන දෙයක්...

 අරුචිය.....
 අරුචිය කියන්නෙ ආහාර අප්‍රිය වීමයි. මෙය අජීර්ණය නිසාත් ඇතිවෙන්න පුළුවන්. එකම විධියේ ආහාර ගැනීම, කෑම රසවත් නොවීම, අප්‍රිය පරිසරයක සිට ආහාර ගැනීම, භය ආදි මානසික ගැටලු ආදියද මීට හේතු වෙන්න පුළුවන්.

ආහාර අරුචියක් ඇත්නම්....

කෑමට ප්‍රිය නැති බව, මුඛයට කසාය රසයක් දැනීම, හෘද් ප්‍රදේශයේ වේදනාව, මුඛයේ නීරස හා අමිරස දැනීම ඇති වෙන්න පුළුවන්.

ඉතින් ඔබට මෙසේ අරුචියක් තිබේ නම් මොකද කරන්න පුළුවන් කියලා දැන් බලමු.

1.අමු ඉගුරු, සවිද ලුණු හෝ සීනි සමග කන්න.
2.ඉගුරු යුෂ තේ හැදි 2 ක්, මී පැණි තේ හැදි 1 ක් සමග මිශ්‍ර කර කෑමට පෙර බොන්න.
3.දෙළුම් යුෂ, සවිද ලුණු, මී පැණි මිශ්‍රකර ටික ටික බොන්න.
4. කොත්තමල්ලි, එනසාල්, ගම්මිරිස්, චූර්ණකර ( හොදින් කුඩු කර) සීනි හා ගිතෙල් සමග මිශ්‍ර කර ටික ටික කන්න.
5.දෙහි හෝ ඇඹුල් දොඩම් යුෂ, සීනි හා ලුණු ස්වල්පයක් සමග බොන්න.
6.ලුණු අඹ, වියලි ඉගුරු, ගම්මිරිස්, දිවුල් මද, මී පැණියෙන් අඹරා කුඩා ගුලි ලෙස සකස් කර පවනේ වියලා තබාගන්න. මෙය කටේ තියාගෙන ඉන්කොට අරුචිය නැතිවෙනවා.
ආහාරයට පස්සෙ ගත්තම ආහාර දිරවීමට පහසු වෙනවා.
7. මුඛයේ අමිරස නැතිකිරීමට....
   1. කුරුදු පොතු, කොත්තමල්ලි, කලාදුරු අල
       තම්බා ගත් වතුරෙන් කට සේදීම.
   2. වෙනිවැල්ගැට,කුරුදු පොතු, හා සූදුරු
      තම්බා ගත් වතුරෙන් කට සේදීම ද
කරන්න පුළුවන්.

දැන් අපි බලමු,
 අජීර්ණ සහ අරුචි අවස්ථා වලදි රෝගියා හැසිරෙන්න අවශ්‍ය කොහොමද කියලා....

අජීර්ණයක් කියන්නෙ ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවෙන රෝගී තත්වයක්.
ආයුර්වේද වෛද්‍ය මතය නම් සියළුම රෝග වලට හේතුව ආහාර දිරවීමේ ක්‍රියාවේ සිදුවන වෙනස් වීම්ය. මෙහිදී අජීර්ණ අවස්ථා බහුලව ඇති වුවද එහි ඇති බැරෑරුම් කම අපි එච්චර ගනන් ගන්නෙ නැහැ.
 ඒ කියන්නෙ අජීර්ණයකදී වුවත් සමහරු ආහාර පාන වල වෙනසක් කිරීමට කැමති නැහැ. එවන් අවස්ථාවක විශේෂ කැමක් තිබුනොත් ඒක නොකා ඉන්න බැහැ. ඉතින් ඒ කෑම කාලා ලෙඩේ දෙකක් කරගෙන තමා පස්ස බලන්නෙ.

මේ නිසා  අජීර්ණය වැනි අවස්ථා වලදී සාමාන්‍ය ආහාර පාන ගැනීම, හැසිරීම් ආදිය වෙනස් කර ගැනීම නුවණට හුරු ක්‍රියාවයි.
මෙහිදි අපි....

1. විවේකීව හිදීම කල යුතුයි.
2. දිරවීමට අපහසු තෙල් මිශ්‍ර තෙම්පරාදු කල ආහාර, බැදුම් වර්ග නොකා සිටීමද හොදයි.
3. වරින් වර උණු වතුර බීම.
4.නෑම සහ කය වෙහෙසා කටයුතු කිරීමෙන් වැලකීමද හොදයි.

 ඉතින් ඔබත් මේ අත් බෙහෙත් සහ විහරණ භාවිතයෙන් සුවබර දිවියක් ගත කරයි කියලා මම විශ්වාස කරනවා.
තෙරුවන් සරණයි..!

ඇසුර - අත් බෙහෙත්

 ඔබගේ අදහස් යෝජනා පහලින් comment කරන්න.





නිවසේදී නිතරම අත්‍යවශ්‍ය වන අත් බෙහෙත් - 2 (අජීර්ණය)


නිවසේදී නිතරම අත්‍යවශ්‍ය වන අත් බෙහෙත් ලිපි පෙළෙහි පලමු ලිපියෙන් අපි කතා කලේ සෙම්ප්‍රතිශ්‍යාව ගැනයි. ඉතින් මම අද හිතුවා අපිට නිතරම වැලදෙන රෝග තත්වයක් වන අජීර්ණය ගැන කතා කරන්න.

මුලින්ම අපි බලමු අජීර්ණය කියන්නෙ මොකද්ද කියලා.  අජීර්ණය කියලා කියන්නෙ අප ගන්නා ආහාර නොදිරවීමයි. ආයුර්වේදයට අනුව බොහෝ රෝග වලට හේතුවක් ලෙස අජීර්ණය හදුන්වන්න පුළුවන්. ආයුර්වේදයට අනුව ආහාර දිරවීමට හේතු වන්නේ පාචක පිතයි. මෙම පාචක පිත අඩු වීම නිසා අජීර්ණ ඇතිවේ.

වැඩි වශයෙන් අජීර්ණ වලට හේතු වන්නේ බඩගිනි නැති විට අධික වශයෙන් ආහාර ගැනීම, භය, ශෝක, උද්වේගකර මානසික අවස්ථා වලදී ආහාර ගැනීමත්, නිතර නිතර ආහාර ගැනීමත්ය.

 අජීර්ණය වලකවා ගැනීමට අපිට කරන්න පුළුවන් පහසුම දේ තමයි ආහාර ගැනීමට පෙර ඉගුරු කැබැල්ලක් සහිද ලුණු සමග කෑම.

එසේම අජීර්ණයක් පවතින විට ආහාර වේලක් දෙකක් මග ඇරීම හොදම වෙදකම කියලත් කියන්න පුලුවන්. උතුරුවා නිවාගත් ජලය නිතර පානයත්, තැම්බුම් හොද්දක් බීමත් පහසුවෙන් අපිට කරන්න පුලුවන්.

දැන් අපි බලමු මීට අමතරව අපිට අජීර්ණයකදී කරන්න පුලුවන් මොනවද කියලා,

1.උණුවතුර පානය.
2. ආසන්න ආහාර වේල නොගැනීම.
3.සතකුප්ප හෝ අසමෝදගම් තම්බා බීම.
4.අසමෝදගම් කුඩුකර (මද) උණු වතුරට දමා බීම.
5.සූදුරු කබලේ බැද තමිබා බීම, හෝ බැද කුඩුකර වරකට තේ හැදි 1 ක් උණු වතුරට දමා බීම.
6. නිතර අජීර්ණය හැදෙනවා නම්,
  මින්චි, රට ඉදි, ගම්මිරිස්, සුදුළුෑණු, පෙරුංකායන්(රත්කර ගත යුතුයි) වියලි මුද්දප්පලන්, සූදුරු සියල්ල දෙහි ඇඹුලෙන්
අඹරා ගෙන චට්නියක් ලෙස සකස් කර පාවිච්චියට ගත හැකිය. බත් සමග වුවද කෑමට ගත හැකිය.
මෙය මුඛයේ අමිරස නැතිකර රුචිය ඇති කරයි.
7.තිප්පිලි, තිප්පිලි මුල්, සිවිය මුල්, රත්නිටුල්, වියලි ඉගුරු සමග ගෙන වියලා හොදින් කුඩු කර(චූර්ණ කර) මදටිය 6-8 දක්වා උණු වතුරෙන් ගැනීම.
8.භාෂ්කර ලවණ උණු දියෙන් ගැනීම, මදට 5-10 දක්වා හෝ බත් සමග කෑම.

මෙම ලිපියෙන් මම අදහස් කලේ අපිට නිතරම වැලදෙන අජීර්ණය ගැන ඔබට යම් දැනුමක් ලබාදී ඉන් වැලකි සුවබර දිවියක් ගතකිරීමේ අවස්ථාව සලසා දීමයි. මොකද මෙය අපිට නිතර වැලදුනත් නිසි ආකාරයේ බේත් හේත් නොමැති කමින් බොහෝ අය පිඩා විදින අයුරු දැකලා තියන නිසාවෙන්, ඉතින් ඔබත් පහසුවෙන් සකසා ගතහැකි මේ අත් බෙහෙත් භාවිතා කර ඔබේ කාලයත්, මුදලුත්, නිරෝගිකමත් රැක ගන්න.  මිලග ලිපියෙන් අපි ආහාර අරුචිය හා මේ ආශ්‍රිත විහරණ විධි ගැන සාකච්ඡා කරමු.
තෙරුවන් සරණයි..!



Saturday, October 20, 2018

නිවසේදී නිතරම අත්‍යවශ්‍ය වන අත් බෙහෙත් - 1(සෙම්ප්‍රතිශ්‍යාව)


මම ඔයාලට මේ ලිපි පෙලින් කියලා ‌‌දෙන්න යන්නෙ ‌අපිට නිවසේදී නිතරම අත්‍යවශ්‍ය වන අත් බෙහෙත් වර්ග කිහිපයක් ගැන,

අත් බෙහෙත් කියලා කියන්නෙ වෛද්‍යවරයකු හෝ රෝහලකට නොගොස් නිවසේදීම සකසා භාවිතයට ගත හැකි බෙහෙත් වලටයි. මේවා ඈත අතීතයේ පටන් අපේ ගැමියන් අතර ඉතා ප්‍රසිද්ධ එමෙන්ම ප්‍රත්‍යක්ෂ ඖෂධයි. එමෙන්ම ඉතා අඩු මුදලක් හෝ කිසිදු වියදමකින් තොරව අපට මේ අත් බෙහෙත් සකසා ගන්න පුලුවන්. ඉස්සර මේවාට ගෘහෞෂධ කියලත් කියලා තියෙනවා. ඉස්සර අපේ අම්මලා තමන්ගෙ දරුවට ලෙඩක් හැදුනම මුලින්ම කලේ අත් බෙහෙතක් හදලා දෙන එක. ඒ අම්මලාගෙ දරුවො අදටත් හොදට නිරෝගිව ජීවත් වෙනවා.
මුලින්ම අපි බලමු අපිට නිතරම වැලදෙන රෝගයක් වන සෙම්ප්‍රතිශ්‍යාව සදහා දෙන අත් බෙත් ගැන.
 සෙම්ප්‍රතිශ්‍යාව කියලා කියන්නෙ අපේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව සැදෙන සුලබ රෝගයකට. මේ පද්ධතියේ රෝග ඇති වීමට ප්‍රධාන හේතුව වෙන්නෙ වම්බටු, මෑකරල්, බණ්ඩක්කා වැනි ශිත ආහාර නිතර නිතර ගැනීමත්, අවේලාවේ ශිත දිය පරිහරනය, පින්නේ යාම, නිදිවැරීම, ශිත සුලග සේවනය ආදි විහරණ ආදිය නිසාද වේ. මේ හේතු වලට අමතරව දුම්බීම, විෂ දුම් ආඝ්‍රාණය වීම, පරිසර දූෂණය වැනි හේතුද ප්‍රතිශ්‍යාවට හේතු වෙනවා.
මේ ප්‍රතිශ්‍යාව සංක්‍රමණශීලි රෝගයක්, ඒ කියන්නේ ලෙඩෙකුගෙන් තව කෙනෙකුට බෝ වෙන්න පුලුවන්. හිසරදය, හිස බර බව, ඇස් රතු වීම, ඇගේ වේදනාව, අරුචිය, මද උණ සහිතව නාසයෙන් දියර ගැලීම ප්‍රධාන රෝග ලක්ෂණයි. ඒ වගේම වෙනත් බොහෝ ලක්ෂණද පහල වෙන්න පුලුවන්.

ඔනම රෝගයකින් වගේම මෙකෙදිත් අපිට ඉස්සෙල්ලම කරන්න පුලුවන් දේ තමයි ලෙඩේ හදාගන්නෙ නැතිව ඉන්න එක. ඒකට අපිට කරන්න පුලුවන් දේවල් තමයි
 1. ප්‍රධානවම නුසුදුසු වේලාවේ ශිත ආහාර ගැනීමෙන් වැලකීම සහ ශීත විහරණ ( ඒ කියන්නෙ සිතල වතුර නැම, වැස්සට තෙමීම ආදිය ) වලින් වැලකීම.
2. පිරිසිදු ඇදුම් පැලදුම්ආදිය භාවිතා කිරීම.
3. පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීම.
4. උගුර සහ මුඛය පවිත්‍ර කිරීම.
5. උණුසුම් ආහාර පාන පාවිච්චිය.

මේ රෝගය වැලදුනු විට ප්‍රථමාධාර වශයෙන්
1. උණු දිය භාවිතා කිරීම ඒ කියන්නෙ, දෝවනයට සහ පානය කිරීමට.
2. විවේකය
3. ඉගුරු කොත්තමල්ලි තැම්බූ දිය පානය කිරීම කරන්න පුලුවන්.

ඒ වගේම මේ රෝගයට ප්‍රතිකාර ලෙස,
1. ඉගුරු කොත්තමල්ලි තැම්බු වතුර බීම.
2. ඉගුරු කොත්තමල්ලි පත්පාඩගන් වෙනිවැල්ගැට තැම්බූ වතුර බීම.
3.ඉගුරු, පත්පාඩගන්,කටුවැල්බටු, බටු මුල්, තිප්පිලි කලං 2 මදට 8 බැගින් කෂාය කර තිප්පිලි කුඩු මී පැණි දමා බීම.
4.වෙනිවැල්ගැට, කොත්තමල්ලි,සුදුළුෑණූ, තැම්බූ වතුර බීම.
5.සර්වවිසාදී තෛලයෙන් ටිකක් උගුර ඇතුලේ දෙපැත්තෙත් පිටතත් ගා සෙම කාරා දැමීම.
6. ලුණු වතුර වීදුරුවකට අබ කුඩු තේ හැදි 1/2 ක් දමා උදය, සවස උගුර සේදීම.

කැස්ස පවතින විට,

1. ඇඹුල් දොඩම් යුෂ මේස හැදි 4
  අමු ඉගුරු යුෂ මේස හැදි 3
සීනි තේ හැදි  2
මී පැණි තේ හැදි  2

සියල්ල මිශ්‍ර කර බුද්ධ රාජ කල්කය ග්‍රෙන්ස් 20 පමණ දියකර වරින් වර තේ හැදි 2 බැගින් බීම.
2. ඇඹුල් දොඩම් යුෂ මේස හැදි 6
කප්පරවල්ලිය කොල යුෂ මේස හැදි 3

මදක් රත් කර නිවා මී පැණි මේස හැදි 2 ක් දමා වරින් වර බීම.
3. කුඹුරු දළු, නික දළු ,අමු ඉගුරු, සුදු ළුෑණූ,  එක පමණ ගෙන කොටා වණ්ඩුවේ තම්බා මී පැණි දමා බීම.
4.කටු වැල් බටු මුල්, සිරිතේක්කු, ඉගුරු, කොත්තමල්ලි කලං 3 බැගින් කෂාය කර මී පැණි දමා බීම.
5. ඇඹුල් දොඩම් ඇඹුලට සූකිරි දමා වරින් වර බීම.
6.ඉගුරු ,ගම්මිරිස්,තිප්පිලි, තිප්පිලි මුල්,හිගුරු පියලි,නෙළුම් රේණු එක පමණ ගෙන කුඩුකර ඒ බරින් භාගයක් පිටි සීනි දමා මිශ්‍රකර වරකට තේ හැදි 1 ක් වැල්මී තැම්බූ වතුරෙන් උදය සවස බීම.
7. ආඩතෝඩ මුල් කලං 1/2, කළුමදුරුතලා කොල 21, ගම්මිරිස් ඇට 5,වතුර අවුංස 8, 2 ට සිද පෙරා සවසට බීම.
 මේ ලිපියෙන් සෙම්ප්‍රතිශ්‍යා රෝගය හා ඒ ආශ්‍රිත රෝග නිවාරනය ගැන හොද දැනුමක් ඔයාලට ලැබෙන්න ඇති කියලා මම හිතනවා.  මේ ප්‍රතිකාර ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර, ඉතින් නිතර වැලදෙන මේ සෙම්ප්‍රතාශ්‍යා රෝගයටත් මුදල් වියදම් කර පෙති කරල් ගිල දමනවා වෙනුවට අපේ බෙහෙත් භාවිතා කර මුදලුත් කාලයත් නිරෝගී කමත් රැක ගත  හැකි නොවේද ? මේ පිලිබදව අදහස් යෝජනා ඉදිරිපත් කිරීම ඔබට භාරයි.
තෙරුවන් සරණයි !

ඇසුර- අත් බෙහෙත්


Friday, October 12, 2018

ආයුබෝවන්

ඔබ සැම සියල්ල සැනෙකින් ‌Blog අඩවිියට සාදර‌ය‌ෙන් පිළිගනිමු