Pages

Saturday, March 28, 2020

හෙළ බොජුන් - 03 (සහල්)



මුලින් ම ඔබවෙත මෙම ග්‍රන්ථයේ පුර්විකාව ගෙන එන ලද අතර මෙතැන් සිට එහි අන්තර්ගත වු ඒ  දැනුම් සම්භාරය ඔබ වෙත එහි සඳහන් අයුරින්ම ගෙන එන්නෙමි..

 ආහාර විහරණ

සිය රට කන බොන දේ හැම       පිරිහෙති
පිට රට කන බොන දේ එහි           පුරවති
දෙලොවට හිත වැඩ කනපිට    පෙරළෙති
පහළට යන දර දඬු ලෙස              පාවෙති

 සැපතට මුල් තුනකි.
හොඳ ආහාර, හොඳ හැසිරීම, හොඳ වැඩ.

 පළමුකොට මූලික ආහාරය ගැන විමසා බලමු. බත පිණිස ගැනෙන ධාන්‍ය වර්ග පසෙකි.

    ශාලි ධාන්‍ය (ඇල්වී) ගොඩ මඩ දෙවගෙකි. ගොඩ ඇල් අතුරින් තුන් දොසට ම හොඳ නිසා රත් ඇල් ඉහළ වර්ගයයි. අප රට ඇල් ගොවිතැන බස්නාහිර පළාතෙන් සබරගමුවට බර වී එහෙන් ද ඈත්වේගන යයි. ඉන්දියාවේ මගධ දේශයේ "දවුල් ඛානිචාවුල්" නමින් ප්‍රසිඩ මේ වර්ගය කල්කටා ආදී නගරවල පායාස (කිරි බත්) හෙවත් පුඩිං සෑදීමට ව්‍යවහාර වේ. කලමඩු පොලයැල් ආදී වර්ග ආශාවටවත් කෑමට පවා දැන් මෙරටින් සොයාගැනීම එතරම් පහසු නැත. එහෙයින් කනින් රස විඳීමට පුරාණ ජාතීය නාට්‍ය කලා සංගීත සොයා දියුණු කරන රසික අය රසනායයි ප්‍රසිඬ දිවත් සහිත පසිඳුරන් ම පිනවන ඇල් කිරිබත් ආදී ජාතික ආහාර ප්‍රචාරයට ව්‍යවහාරයට ආශා නොකිරීම අභාග්‍යයෙකි. සුවඳැල් පෙනීමත් කට හඬත් වඩයි.

 මඩ ඇල් (කෙත් වී) කුඹුරු ගොවිතැන දියුණු වේගන යන නිසා පෙර තරම් වර්ග නැති වුවත් සාමාන්‍ය වීයේ බත එතරම් හිඟ නැත හිඟය වැඩිකොට ඇත්නම් කෙතෙන් ලැබෙන වී ටික විකුණා පාන් පිටි කන ගොවියන් අතරය. මෙකී මඩ ඇල් අතුරින් සැටදා වී උතුම්යයි කියතත් ඒවා දැන් ඇල් මෙන් වඳ වී යයි. ඊට මඳක් සමාන හීනැටිත් නනුඩු වැඩිය කියා මුදල් කිරීමට විකිණීමේ දී පාඩු නිසා සුලභ නැත. කුඩු ඉවත් වනතුරු ඔප දැමූ සුදු බතට වඩා නිවුඩු බත ගුණ වැඩිය යන ඉහළින් ආ මතය කාගේත පිළිගැනීම බත් කන අයගේ භාග්‍යයට හේතු විය.

 මෙරටේ කැකුළු හා තැම්බූ හාල් දෙවර්ගයම ව්‍යවහාර වේ. දකුණේ පැසෙන වීයේ හා පිටි තෙල් ගතිය අඩු නිසා කැකුළෙන්ම ගනිති. මේ දෙකේ ම පෝෂ්‍ය ගුණයේ වැඩි වෙනසක් නැත.

බැදි හාල් කුඩු විලඳ කුඩු සහ හබල පෙති ද බත් වෙනුවට දැනුදු ඉන්දියානුවෝ ගනිති. ගමන් වලදී මේවා ඉහත මේ රටේ ද අත් සුනු නමින් බොහෝ ව්‍යවහාර කළහ. හබලපෙති කැඳ සැහැල්ලු ආහාරයක් වශයෙන් ගැනීමට තිබුනත් අද ඒවා සුලභ නැත.හබල  පෙති කෙටූ උපකරණ ගම්බද වංගෙඩි මෙන් අයින්විය. දකුණේ පමණක් තරමකට දැනුදු ව්‍යවහාරවේ.

භොජන සංග්‍රහය
පණ්ඩිත ජී.පී වික්‍රමාරච්චි වෙද රාළහාමි.

තවත් කොටසක් මීලඟ ලිපියෙන් බලාපොරොත්තු  වන්න.


හෙළබොජුන් - 02



කලින් ලිපියේදි මා සඳහන් කල භෝජන සංග්‍රහය නම් වූ ඒ මාහැගි ග්‍රන්ථය කොටස් ලෙස එහි කතුවරයාණන් වූ පණ්ඩිත රාලහාමි නොහොත් අපගේ වෙද රාලහාමි වූ ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ජී.පී වික්‍රමාරච්චි ශ්‍රීමතාණන්ගේ වචන වලින්ම මෙසේ සටහන් කරන්නෙමි.

භූමිකා

 අපගේ ගතිගුණ අපගේ භෝජන අනුව පවතින බැව් ප්‍රකට සත්‍යයෙකි. ධාර්මික සත් ගුණ බහුල අය සාත්විකයෝයි ද සැර ගති ඇති සැප කැමති අය රාජසිකයෝයයි ද අලස අප්‍රබෝධ අල්ප බුද්ධිමත් අය තාමසිකයෝයි ද පුද්ගලයෝ ගුණ වශයෙන් තුන් කොටසකට බෙදෙති. ඔවුන් ප්‍රිය ආහාර ද එසේම තුන් කොටසකට බෙදෙයි.

1.සත්ව ගුණ බහුලයෝ ආයු සැප බල ප්‍රීතිය වඩන සිනිඳු හද පිනවන ආහාර වර්ග ද
2. රංජසික ගුණ බහුල අය කටුක  අම්ල උෂ්ණ සැර ආහාර ද
3. තාමසිකයෝ කල්ගිය පිලුණු අපිරිසිදු භෝජන ද ප්‍රිය කරත්.
 මේ ආදී අන්දමින් ආහාර පිළිබඳ විස්තර විභාග කළ පුරාතන රුසිරුන් තරම් අනිත් කිසිවෙකු ආහාර ගැන දැන සිටි බව නොපෙනේ. භාරත ආයුර්වේද රුසිවරයන් පමණක් නොව එකල මානව හිත මනු ආදීහු ද ආහාර විහරණ සාදාචාර උපදේශ මාර්ගයෙන් දීර්ඝ ජීවනයත් දෙලෝ සැපතත් ලබා දීම උදෙසා සමාජ සංස්කරණයෙහි යෙදුනහ. ඔහු රෝගාණු විෂ ස්පර්ශ විය හැක් ජීවිකාවන් හි යෙදෙන වස්ත්‍ර ශෝධක රෝගී සේවක චිකිත්සකයන්ගේ ගෙවලින් කෑම බීම පවා නොගත යුතු බව ද අස්වාමික(වැන්දඹු) ස්ත්‍රීනට කාමාශා වැඩෙන ආහාරපාන බුලත් සුවඳ විලවුන් තහනම් කොට එක් වේලක් ගිතෙල් මුසු බත නියම ද ස්වදේශයෙන් පිටරට ගියවිට ආහාර ගතයුතු ක්‍රම ද යනා දී නානාවිධාන කළහ. ලංකාව ද මේ ක්‍රම පමණක් නොව බෞද්ධ මත ද අනුගමනය කළේය. ඒ අකින් බලන විට එදා සිට අපරටෙහි ද මෑතක් වන තුරු ම එනම් 16 වැන් ශත වර්ෂයේ ආරම්භය දක්වාම බෞද්ධ භාරතීය  විධි ම ව්‍යවහාර විය. වාණිජ ව්‍යාපාර, දේශාක්‍රමණ, දේශාටන අතින් දියුණුවක් ළඟාකරගත් යුරෝපීය ජාතීන් පවා ආහාර විශේෂ වි⁣ඟ්ඳානයෙහිලා ⁣කොතරම් පහත් දැයි  මේ රටට ඒ කාලයේ ගෙඩබට නාවික විදේශිකයනට අසම්පූර්ණ භෝජනාදිය වැළැදීමෙන් වැළඳුණු  රෝග දෙස බලන විට පෙනේ. මස්, පාන්, බීම පමණක් ගැනීමෙන් ඔවුනට වැළැ⁣ඳෙන "ස්කර්වි" නම් වූ ශීත පිත්ත භේදයක් වූ චර්ම රෝගයට අන්තිමේදී දෙහි දොඩම් ආදී විටමින් සී බහුල පළතුරු යුෂ පිහිට විය. ආදී යුරෝපීය වර්ගයා දඩමසින් පමණක් යැපුණු කාලයේපෙරදිග අය ක්ෂිරපායාස( මිල්ක් පුඩින්) ආදී ප්‍රණිත ආහාර ගත් බව ප්‍රසිද්ධය. එවැනි පැරැණි ආහාර විහරණ ගැන අපි කොතරම් උදම් ඇනුවත් ශත වර්ෂ 5 ක පමණ සිට පටන්ගගත් දුර්දශාවේ අවසාන විපාක හා වත්මන් ජාතියේ කායික පරිහාණිය ද එකට ඇලී ගැලී පවති. භාෂා සාහිත්‍ය සංස්කෘති ආදී සියල්ලට ම වඩා ආහාරචාර වලට සිදුවූ සංකරත්වය ප්‍රතිසංස්කරණය කර ගැනීම එන්නට එන්නට ම දුස්සාධ්‍ය බවට පත්ව තිබේ.ක්‍රමයෙන් පැනනඟින විපත්තිත් මෙනෙහිකරන විට ස්වවර්ගයාට ඒ බැව් සිහිපත් නොකළොත් එය අප අත පැවැති වරදකැයි සැලකුවේ අද ඊයේ නොව මීට අවුරුදු 30-40 කටත්ඉහත සිටය. ඒ සා කලක සිට ත්‍රිවිධද්වාරයෙන්ම ජාතික ස්වාස්ථ්‍ය සංවර්ධනය ගැන වෙහෙසුනත් ජනතාවගේ දේශපාලනික පාක්ෂික භාවය, ස්වෙච්ඡා සේවකයන්ගේ අඩුවීම, අනවධානය යන මේ කරුණු නිසා එතරම් හොඳ ප්‍රතිඵල දක්නට නොලැබී ගියමුත් එයින් අධෛර්යයට පත්නනොවී තව දුරටත් නවොද්දාමයක් වශයෙන් මෙබඳු " භෝජන සංග්‍රහය" කින්වත් ප්‍රබෝධයක් ඇති කිරීමට අප සිත් පෙළඹුනි. මේ රටේ පාලන බලය ලැබුනත් එය සාර්ථක කරගැනීමට ඇති ප්‍රධාන බාධාව ආර්ථික පරිහානියයි. එම බලය දෙස බැල්මහෙලා සිටින  අයගෙන් නොයෙක්වර අසන්ට ලැබුනත් කාටවුවත් සංවර්ධනයක් සාර්ථක ලෙස ගෙනයාමට ඇති මහත් ම අඩුපාඩුව ජනතාවගේ කායික මානසික පිරිහීම බැව් එවැනි තැනකින් කියවෙතොත් ඒ ඉතා කලාතුරකිනි. වැඩකට ගැනීමට වුවමනා විටෙක මිස සාමාන්‍ය ජනතාවගේ ශාරීරාදී පරීක්ෂණය මෙරට වඩා කෙරෙන්නේ නැත. පාඨශාලාවකින් බාලයන් පිටවෙනකොට හෝ රැස්ව සිටින විට හෝ සාමූහික වශයෙන් පිරිසක් වැඩක යෙදී සිටින තැනක දී හෝ වෙන් වශයෙන් අප හමුවීමට ආවිටක හෝ නිතර ආශාවෙන් බලන්නේ සාර්ථක ජීවනයක් ගෙනයාමට මොවුන්ගේ  මේ ශරීර වැඩේද? සෑහේද? කොතරම් පරිහීනද? යනාදී ප්‍රසාද සංවේගයෙන් කය දෙස බැලීමයි. වැඩි දෙනාට විපරීත දෘෂ්ටි පළවේගන යන මේ කාලයේ බාහිර දේ බැලීමට තරම් ඇතුළතින් තම කය සිත දෙස බැලීමේ අන්තර් දෘෂ්ටිය යෙදීම හීනවේගන යයි.ඒ ආත්ම දෘෂ්ටි පරික්ෂාවට සාමාන්‍ය ජනතාවගේ නෙත් සිත් යොමුකිරීමට අවශ්‍ය කාලපරිච්ඡේදයක් ඇත්නම් ඒ මේ කාලයයි. මෙහි වැදගත්කම කලක සිට අවබෝධවූයේ පුරාණ සෘෂීන් ශරීරය පරීක්ෂාකළ අංග සම්පූර්ණ ක්‍රමය දකින්නට ලැබීමෙනි. දැන්වාගේ කලාතුරකින් බාලයන් මැදට පැන දත් විලිස්සා උගුර, නාසා, ඇස් අරවා බැලීම පමණකින් හෝ නායකයන් යනවිට කොඳු නාරටිය කෙළින් තබා ගැනීම, එක එල්ලේ කෙරෙන කෙළිසෙල්ලම් ආදී කීපයකින් පමණක් නොවේ. පෙරදිග සෘෂි සම්මත පරීක්ෂ ක්‍රමය ඉතා දීර්ඝය. එයින් ස්වල්පයක් මෙහි දැක්වේ.

තමාගේ ශරීරයේහි වාත පිත්තාධික ප්‍රකෘති වශයෙන් කුමක් ප්‍රබල ව පවතී ද, සප්ත ධාතුගත සාර වශයෙන් සාරවත් ද, සංහණන හෙවත් හැඩහුරුකම්, අඟපසඟ මනාව පිහිටීම් අතින් අංග සම්පූර්ණ ද, ආරෝහ පරිනාහ සම්පන්න ශරීර තත්වය අනුව උස  පමණට මහතින් සමානත්වයක් තිබේද? කෑම බීම ශරීරයට අල්ලන සාත්ම්‍යය ගතින් ප්‍රමාණවත් ද, සත්ව හෙවත් චිත්ත ශක්තිය කයෙහි බලපත්වන ප්‍රමාණය කොතරම් ද, (ආත්ම ශක්තිය කයෙහි බලපවත්වා සිත කීකරු කළ හැකි අයට ශල්‍යකර්මාදීයට පවා සිහි නැති කිරීම අවශ්‍ය නොවේ.)

ආහාර ශක්ති වශයෙන් කන බොන ආහාරයෙන් ශරීරයට කොතරම් ශක්තියක් ලැබේද, ව්‍යායාම ශක්තිය හෙවත් ශ්‍රම ශක්තිය කොතරම් ද වයස් ප්‍රමාණයට ශරීර ප්‍රමාණය සෑහේද ආයු: ප්‍රමාණය කොතරම් අනුමාන කළ හැකිද ( ආයුෂ පරීක්ෂණය වෙන ම අධ්‍යායෙකින් චරකයේ දක්වා තිබේ.) යන මේවා කළ යුතුයයි. සෘෂින් කී පරීක්ෂණයෝ ය.

" සර්ව මන්‍යත් පරිත්‍යජ්‍ය ශරීර මනු පාලයෙත්" 

අනිත් සියල්ලට වඩා ශරීර පාලනය සලකා බලන්නට කී සෘෂි නීතියට පටහැනිව සර්ව මන්‍යත් පරිත්‍යජ්‍ය විනෝද මති සේචයේත් යන්නට වුව අනිත් සියල්ලටම වඩා විනෝදය සෙවිය යුතුය යන තැනට දේහ පාලන නීතිය ඉබේම වෙනස්වීගෙන යයි. ඉහතකී සෘෂි මතය අනුව පරීක්ෂණයට වර්තමාන තරුණයන් දස දෙනෙක් තැබුවහොත් එයින් දෙතුන් දෙනෙක් වත් උත්තීර්ණ වේදැයි සැක සහිතය. කවදාහරි විෂම විපාක විඳින්නට සිදුවී වරද පෙනී යෝනිසෝමනසිකාරයෙන් තමා ගැනම මේ පරීක්ෂණ යොදා ප්‍රත්‍යවේක්ෂාකර බැලීමේදී

" ප්‍රාණීනාං පුනර්මූලමාහාර: "

සත්වයන්ගේ පැවැත්මට ආහාරය මූලයයි යන මූල නීතියේ පටන් බලතොත් අපේ හොඳ කාලයේ ඇඟපත හඳාවඩාගත් ධාන්‍ය, පත්‍ර, පුෂ්ප, ඵල ශාක කෘතාන්ත ( සාඳාගත් කෑමජාති ) පානවර්ග, කිරි පැණි සාත්ම්‍ය අසාත්ම්‍ය සදාචාර විහරණ කොතරම් දුර ව්‍යවහාරයට පැමිණ තිබේ ද? අභාවයට ගොස් තිබේද? නොසලකා ඇර දොෂභාවොපගතව තිබේද? නියම සාරවත් දේ වෙනුවට කොතරම් අසාරදේත් ස්වදේශීය දේ වෙනුවට විදේශීය දේත් පුරුදුකරගෙන යනවාද? ඒවායේ ඵල විපාක කවරේද? අනාගත ආශා එයින් පිරිමැසේද? තවදුටත් පිරිහේද? කොතෙක් සංස්කරණය කළයුතුද?  කොතෙක් ආදෙය ද කොතෙක් උපාදෙය ද? අනුපාදෙය ද යනාදිය ගැන නුවණැස යොදා බැලූ ඒ කාලයේ දී අපේ මේ භෝජන සංග්‍රහයෙන් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකි ය. භෝජනයක ප්‍රධාන ප්‍රයෝජනය බඩගිනි සංසිඳිම වුවද බල පුෂ්ටි සාධනය ද මීට ම ඇතුළත් වේ. ඒ බල පුෂ්ටි සාධනයද ශරීරගත මනෝගත යයි ද්විවිධ වේ. මේ භෝජන සංග්‍රහයෙන් බල පුෂ්ටි ලබාගැනීමටත් පාලක පක්ෂයේ ඇසටත් හරිහැටි යොමුනොවුන ආගමික අනුශාසක පක්ෂයත් එතරම් දුරට ඉදිරිපත් නොවන එබඳු සමාජ හිතකාමීන්ගේ අවවාදත් එතරම් නොසලකන විනය සංයම සදාචාරත් පිරිහෙමින් පවතින මේ කාල මේ ව්‍යාධි උපසෘෂ්ඨානාං ව්‍යාධි පරිමෝක්ෂ: ස්වස්ථස්‍ය ස්වාසථ්‍ය සංරක්ෂණං ච යන රෝගීන්ගේ රෝග ශමනයත් නිරෝගීන්ගේ සොඛ්‍යාරක්ෂාවත් සැලැසීම වෛද්‍යයාගේ ප්‍රධාන කාර්ය්‍ය දෙක බැවින් දෙවනුව කී යුතුකම පිරිමැසීම මේ සංග්‍රහයේ මූලිකාධ්‍යාශය බැව් සිහිපත් කරමින්

" අනුක්තමිහ පූජිතම් වෘත්තං තද පි චාත්‍රෙය: සදෛවාප්‍යනු මන්‍යතෙ "

මෙහි නොකී ප්‍රශස්තයයි සම්මත දේ ඇත්නම් ඒවාත් අනුගමනය කරන ලෙස සෘෂීන් අනුමත කළා සේම අපිත්  ඒවා එසේම අනුමත කරමින් සසමා: ශතම ව්‍යාධිරායුෂා නවියුජ්‍යතෙ යනු කී සේ මේ සංග්‍රහය ව්‍යවහාරයෙන් නිරෝගීව සියවසක් දිගාසිරි විඳිත්වා යි පතමින් මෙය අවසන් කරමු.

තවද මේ සංග්‍රයහ පිළියෙළ කිරීමට සහාය වූ සිද්ධායුර්වේදඥ රිචඩ් ඩී. පණවිතාන වෙදමහතාට හා මුද්‍රණ කටයුතු කළ කාර්ය මණ්ඩලයටත්, චිත්‍රය පිළියෙළකර දුන් එන්.එච්.පී. සේනාරත්න මහතාටත් අපගේ කෘතඥතාව හිමිවේවා.

අනවකාශ කාර්ය්‍ය බහුල්‍යාදිය මධ්‍යයේ ලිවීමේදී නොයෙක් ප්‍රමාද භ්‍රමාදිය ඇති විය හැකිය. එවැනි දේ ඇත්නම් ඊට සහෘදය පාඨක භවතුන්ගෙන් සමාධිය ලැබේවා.

ධනපති ප්‍රාසාදයේ පටන් පැල්පත දක්වා ඇති සැම තැනකම වෙසෙන ලොකු කුඩා කාටත් පහසුවෙන් තේරෙන සේ මෙහි භාෂා විලෂය ළිහිල්කොට යෙදූ බවද සලකත්වා.

මීට,
ජී.පී. වික්‍රමාරච්චි
යක්කල
සිඬායුර්වේද වෛද්‍ය විද්‍යාලයෙදී ය.

2507 / 1963

මෙම ලිපිය මදක් දිගු වුවද එහි අන්තර්ගතය ඔබ සියලු දෙනාහට එතුමන්ගේ අරමුණ පැහැදිලි කරගැනීමට අවකාශය සලසනු ඇතැයි මා සිතනවා.
 ඉදිරි ලිපි එතරම් දිගු නෙවන ලෙස සකස් කර එතුමන්ගේ වචනයම ජනගත කිරීමට මා උත්සාහය දරන්නෙමි.  මෙම අගනා ග්‍රන්තය බොහො දෙනෙක් කියවා එහ් අන්තගතය වටහා ගන්නේ නම් එය මහත් කාලීන යැයි පාඨක ඔබ සැම සිතනු ඇතැයි මා විශ්වාස කරමි.






හෙළ බොජුන් 01



මේ දිනවල අප ශ්‍රී ලංකාව කොරෝනා රෝගයෙන් බැටකමින් බොහෝ දෙනා රෝග බියෙන් සසලව ඇත. ඒ වගේම මේ අස්ථාවේදී අපේ දේශීය දේ ගැන අපේ මිනිස්සුන්ට නැවත නැවත හිතෙන අවස්ථාවක් බවද සියල්ලන්ටම නොරහසකි.

දේශිය වෙදකම, ආයුර්වේද වෙදකම, අපේ කෑම බීම, අපේ සිරිත් විරිත් ⁣යනාදී මේ සියල්ලම දැන් මතකයට නොනැඟුනු කෙනෙකුන් මේ ලංකාවේ නැති තරම්ය. මහා බලගතු යැයි දියුණු යැයි කියනා රටවල් පවා මේ රෝගයෙන් සසලව ගොස් ඇති මේ වේලාවේ සියළු දෙනා මරණ බයෙන් තැතිගෙන සිටින මේ වේලාවේ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වායි පතමි.

මම දැන් කියන්න යන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් නෙදන්නා කාරණයක් ගැන. මීට වසර 45 කට පමණ පෙර අප අතරින් වියෝ වූ මහා පුරුෂ රත්නයක් අපට ඉතිරි කර ගිය මහා දැනුම් සම්භාරයක් ගැනයි. ඒ ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ග්‍රේබ්‍රියල් පෙරේරා වික්‍රමාරච්චි නම් වූ වර්තමාන කැළණිය විශ්වවිද්‍යාලයීය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ නිර්මාතෘවරයානන් අතින් ලියැවුනු මා හැගි ග්‍රන්තයක් ගැනයි.

එය නමින් භෝජන සංග්‍රහයයි.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වන මෙම පොත අපගේ ආහාර රටාව ගැන පෝෂණ රටාව ගැන පුළුල් විග්‍රහයක් ලබාදෙයි.

මෙහිදී එම ග්‍රන්ථය සමාජ ගතකිරීම මාගේ අරමුණයි. එය කොටස් ලෙස මා හට හැකි පමණින් එතුමාණන්ගේ වචන වලින්ම මා මෙහි සඳහන් කරන්නම්. එය ඔබට හෙළ ආහාර රටාව ගැන ඔබගේ දැනුම පුළුලු කරගැනීමටත්, ඔබගේ නීරෝගී බව වඩවා ගැනීමටත් උපකාරයක්ම වේවා. එසේම අපගේ ගුරු දෙවිදුන් වන ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ජී.පී වික්‍රමාරච්චි ශ්‍රීමතාණන් හටද උපහාරයක්ම වේවා.